Tamil (Sri Lanka)English (United Kingdom)

වැඩසටහන් දිනදර්ශනය

නොවැම්බර් 2017
බ්‍ර සි සෙ
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2
ඔබ මෙතනයි : මාධ්‍ය රාජ්‍ය උත්සව

රාජ්‍ය උත්සව

රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල

දේශීය සාරධර්ම වලින් යුත් උසස් තත්වයේ රූපවාහිනී  නිර්මාණ බිහිකිරීමට රූපවාහිනී නිර්මාණකරුවන්ට අනුබල දීම අරමුණු කරගෙන සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

මෙම සම්මාන උළෙල 2004 දී ආරම්භ කළ අතර එම වර්ෂයේ සිට මේ දක්වා අඛණ්ඩව  සංවිධානය කරනු ලබන අතර ශ්‍රී ලංකාවේ රූපවාහීනී නිර්මාණකරුවන් රාජ්‍ය ඇගයීමට ලක්කරනු ලබන එකම රූපවාහිනී  සම්මාන උළෙල මෙයයි.

සෑම වර්ෂයකම දෙසැම්බර් 31 වන දිනට පෙර විකාශය වී අවසන් වූ රූපවාහිනී නිර්මාණ ඊට පසු වසරේ සම්මාන උළෙල සදහා ඉදිරිපත් කළ හැකි අතර රූපවාහිනී සම්මාන උළෙලේ දී විකාශය නොවූ ආධුනික රූපවාහිනී කෙටි ච්ත්‍රපට සදහාද සම්මාන පිරිනැමේ.

සියලුම රූපවාහිනී නිර්මාණ බාරදිය යුත්තේ එම නිර්මාණ විකාශය වූ රුපවාහිනී ආයතනයේ නිත්‍යානුකූල හිමිකරුවන්ගේ සහතිකය සමගයි.

වෘතාන්ත රුපවාහිනී නාට්‍ය, වාර්තා වැඩ සටහන්, ඒකාංගික රුපවාහිනී නාට්‍ය සගරාමය වැඩ සටහන්, ප්‍රවෘත්ති වාර්ත‍ාකරණය, ප්‍රවෘත්ති නිවේදක, සංගීත වැඩ සටහන්, රූපවාහිනී සම්ප්‍රවේශක, රූපවාහිනී පූර්ණපට, පූර්ව ප්‍රචාරක පට, දෘශ්‍ය ගීත නිර්මාණ, පසුතල නිර්මාණ, අලෝකකරණය (බහුකැමරා නිෂ්පාදන) රූපවාහිනී නවෝත්පාදක වැඩ සටහන්, රුපවාහිනී ග්‍රාෆික / සජීවිකරණ වැඩ සටහන් රූපවාහිනී සාකච්ඡාමය වැඩ සටහන් ආදී අංශ මේ යටතේ ඇගයීමට ලක්කෙරේ.

රූපවාහිනී නිර්මාණ රාජ්‍ය ඇගයීමට ලක් කිරීමේ දේශීය සංස්කෘතිය, සභ්‍යත්වය, ශිෂ්ටාචාරය, ආගමික නැඹුරුව, සම්මත ආචාර සමාචාර විධි, සංස්කෘතික සාරධර්ම, ස්වාභාවික සෞන්දර්ය, පාරම්පරික නැටුම්, ජනගායනා, සංගීතය,දේශිය තූරිය වාදන, පෞරාණීක හා ඓතිහාසික පුරවෘත්ත, පාරිසරික සුන්දරත්වය හා ඊට සමගාමීවන සමාජ විද්‍යාත්මක පර්මාදර්ශයන්  සලකා බලනු ලැබේ.

රූපවාහිනි නිර්මාණ තෝරා ගැනීම ඒ ඒ ක්ෂෙත්‍රයන්හි ප්‍රවීන , ස්වාධීන විද්වත් මණ්ඩලයක්  මගින් සිදු කරනු ලැබේ.

සම්මාන උළෙල සදුහා ඉදිරි පත් කිරීමට බලාපොරොත්තුවන රූපවාහිනී නිර්මාණ ඇතුලත් V.H.S. පටි හා D .V. D. පට මගින් බාරදිය යුතුයි.

2016 රූපවාහිනී රාජ්‍ය සම්මාන ලාභීන්ගේ නාම ලේඛනය

2015 රූපවාහිනී රාජ්‍ය සම්මාන ලාභීන්ගේ නාම ලේඛනය

2014 රූපවාහිනී රාජ්‍ය සම්මානලාභීන්ගේ නාම ලේඛනය

2013 රූපවාහිනී රාජ්‍ය සම්මානලාභීන් ගේ නාම ලේඛනය

2011-2012 රූපවාහිනී රාජ්‍ය සම්මානලාභීන් ගේ නාම ලේඛනය

ඉහළට

කලාභූෂණ සම්මාන උළෙල

සංස්කෘතිකමය වශයෙන් රටක ජීවනාලිය බදු කලාකරුවන් තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය, කැපකර විවිධ වූ සංස්කෘතික අංගයන් රැකගැනීමෙහිලා පුරෝගාමීව කටයුතු කළ ද නිසි අයුරින් ඔවුන් ඇගැයීමකට ලක් නොවූ නිසා 1984 වසරේදී සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමන් හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂතුමන් විසින් මොවුන් ඇගැයීමට කලාභූෂණ උපහාර උළෙල ආරම්භ කරන ලදී. එවකට සිටි ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් මෙවැනි කලාකරුවන් පස්දෙනෙකු ස්වර්ණමය පදක්කම් 05 කින් හා 48 දෙනෙකු රු. 5000/- බැගින් වූ ස්ථාවර තැන්පතුවලින් උපහාර ලබා ඇත.

මෙතැන් පටන් වසරක් පාසා ඔවුන්ගේ උතුම් සේවාවන් අගයමින් උපහාර ලබන කලාකරුවන් සංඛ්‍යාව වසරින් වසර වැඩි විය. විවිධ ක්ෂේත්‍රයන්හි (සංගීත, නැටුම්, නාට්‍ය, සාහිත්‍ය, චිත්‍රමූර්ති, ලේඛන කලාව, විවිධ ආදී වශයෙන්) නියැලුනු කලාකරුවන් (සිංහල, දමිළ, මුස්ලිම්) ජාති ආගම්‍ භේදයකින් තොරව උපහාරයට බදුන් විය. මුස්ලිම් සංස්කෘතික හා හින්දු සංස්කෘතික දෙපාර්තමේන්තු මෙහිදී සංස්කෘතික දෙපාර්තමේන්තුව සමග එක්ව කටයුතු කරනු ඇත.

මෙම කලාකරුවන්ගේ අමිල වූ සේවාවන් අගයනු වස් එක් අයකුට රු. 10,000/- ක් වටිනා ස්ථාවර මුදල් තැන්පතුවක් ද, රිදීමය පදක්කමක් හා කලාභූෂණ සහතිකපතක් ද, ඔවුන් ගැන ලියැවුණු පොත් පිංචක් ද, වශයෙන් සෑම සම්මානලාභියෙකුටම පිරිනැමේ.

වසර 2006 දී මෙවැනි සිංහල කලාකරුවන් 69 ක් ද, 2007 වසරේදී 70 ක් ද, 2008 වසරේදී 88 ක් ද, සම්මානයට පාත්‍රවූ අතර වසර 25 සපිරෙන 2009 වසරේ 200 ක් සම්මානයට බඳුන් විය.

කලාභූෂණ සම්මාන ඉල්ලුම් කිරීම සදහා අදාල වර්ෂයේ දෙසැම්බර 15 වන දිනට වයස අවු. 60 සම්පූර්ණ වූ කලාකරුවකු වීම මූලික සුදුසුකමක් වන අතර සෑම වර්ෂයකම මුල් තෙමස තුළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් ඉල්ලුම්පත් කැඳවීම පිළිබදව ජනතාව දැනුවත් කෙරේ ඊට අමතරව දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සංස්කෘතික අංශය මගින් කලාකරුවන් දැන්වත් කෙරේ. ඉල්ලම් කරුවන් අදාල අයදුම්පත සම්පූර්ණ කර කලා කුසලතා පිළිබද ලබා ඇති සම්මාන හා සහතික සමග හැදුනුම්පතේ හා උප්පැන්න සහතිකයේ පිටපත් වල ප්‍රාදේශීය ලේකම් ගේ සහතිකය හා  නිර්දේශය සමග සංසකෘතික කටයුතු දෙපාර්තමේන්තුවට ගෙනවිත්  බාරදිය හැකිය. නැතහොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බාරදිය හැකිය.

කලාභූෂණ සම්මාන අයදුම් කළ හැකි කලා ‍ක්ෂේත්‍ර නාට්‍ය, ලේඛක, චිත්‍ර, මූර්ති, කැටයම්, ලාක්ෂා, රූකඩ, රංගන, නර්තන,සංගීත, කවි, ගායක ගායිකා, චිත්‍රපට හා ටෙලිනාට්‍ය, බයිලා කලාකරුවන්, අංගම්පොර ,මැජික්, බෙරවාදකයින්, ජනමාධ්‍ය, වෙනත් ජන කලාකරුවන් සහ පාරම්පරිකව හෝ වෘත්තීයමය වශයෙන් එම ක්ෂේත්‍රයේ වසර 10 කට වඩා වැඩි කාලයක් නියලී සිටි කලාකරුවන්.

මෙවැනි උතුම් වූ කලාකරුවන් ඇගැයීම සිහිපත් කිරීම සඳහා ලක් රජය විසින් සෑම වසරකම දෙසැම්බර් 15 වැනි දින කලාකරු දිනය ලෙස නම් කර ඇත. එම දිනයේදී මේ උතුම් මිනිසා කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබයි.

ඉහළට

ජාතික නාට්‍ය උළෙල

සිංහල නාට්‍ය කලාවේ ප්‍රගමනයට හේතුවන්නා වූ ගුණාත්මක හා නිර්මාණාත්මක නාට්‍ය තෝරාගෙන එම නිර්මාණ සහ නිර්මාණවේදීන් ජාතික මට්ටමින් ඇගයීම සඳහා රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධානය කරයි.

අයදුම්පත් කැඳවීම සෑම වර්ෂයකම ජනවාරි සිට මාර්තු දක්වා සිදු කරනු ලැබේ. අයදුම්පත් මේ  පිළිබඳ ව පුවත්පත් දැන්වීම් මගින් දන්වනු ලබන අතර එම දැන්වීම් වලට අනුව අයදුම්පත් පුරවා නාට්‍ය පිටපත් සමග ඉදිරිපත් කළ යුතුය. ජාතික නාට්‍ය උළෙල සිංහල හා දෙමළ   මාධ්‍යයෙන්  පැවැත්වේ.

ජාතික නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත්විය හැක්කේ අදාල වර්ෂයට පෙර වර්ෂයේ ජනවාරි 01 සිට දෙසැම්බර් 31 වන දින දක්වා නිෂ්පාදනය කර මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ ස්වතන්ත්‍ර, පර්වර්තන හා අනුවර්තන නාට්‍ය වලට පමණි. සම්මාන ප්‍රදානෝත්සවය වර්ෂ අවසානයේ සිදුකෙරේ.

2015 රාජ්‍ය නාට්‍ය උළෙලේ ප්‍රතිඵල ලේඛනය

2014 රාජ්‍ය නාට්‍ය උළෙලේ ප්‍රතිඵල ලේඛනය

ඉහළට

රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල

සිංහල නාට්‍ය කලාවේ ප්‍රගමනයට හේතුවන්නා වූ ගුණාත්මක හා නිර්මාණාත්මක භාවයෙන් මෙන්ම පර්යේෂණාත්මක හා විකල්ප විධික්‍රමෝපායන් භාවිතයට අවස්ථා උත්පාදනය කිරීම මගින් නාට්‍යකරණයේ යෙදෙන්නන් දිරිමත් කිරීමේ හා ඔවුන්ගේ විවිධ කුසලතා ජාතික මට්ටමින් ඇගයීමේ අරමුණු ඇතිව වාර්ෂිකව සිංහල මාධ්‍ය කෙටි නාට්‍ය උළෙල සංවිධානය කරයි.

රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල පිළිබඳව විස්තර සෑම වසරකම පුවත්පත් හා ජනමාධ්‍ය තුළින් ප්‍රකාශයට පත් කෙරේ. ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට මේ සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය. අයදුම්කරු අනිවාර්යයෙන්ම නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වියයුතුයි.

ඉහළට

රාජ්‍ය ළමා නාට්‍ය උළෙල

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ජාතික නාට්‍ය අනු මණ්ඩලය හා එක්ව සෑම වසරකම රාජ්‍ය ළමා නාට්‍ය උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ වසරේ සිට සිංහල, දෙමල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ළමා නාට්‍ය උළෙල පැවැත්වේ.

මෙම නාට්‍ය උළෙල සීමිත හා විවෘත යන කොටස් දෙකකින්, සිංහල, ‍දමිල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීමට කටයුතු කර තිබේ. සීමිත අංශයට පාසැල්, ගැනෙන අතර විවෘත අංශයට ඕනෑම අයෙකුට ඉදිරිපත් විය හැකිය.

සංශෝධිත නූතන අධ්‍යාපන හා සංස්කෘතික ප්‍රතිපත්ති අනුව, ළමයා හා පූර්ව නව යෞවනයාගේ අධ්‍යාපන තෙහෙට්ටුව මගහරවා, නාට්‍යකරණය මගින් හරවත් සුඛිත මුදිත අනාගත පුරවැසියන් බිහිකිරීමේ බලාපොරොත්තුව ඇතිව මෙම උළෙල සංවිධානය කෙරේ.

වර්තමානයේදී නාට්‍යකරණය අප අධ්‍යාපන ක්‍රමයේ වැදගත් අධ්‍යාපනික අංගයක් බවට පත්ව ඇත. එබැවින් මෙතෙක් නිෂ්පාදනය කළ පාසැල් නාට්‍ය වෙනුවට ළමා නාට්‍ය හදුන්වා දීම යුගයේ අධ්‍යාපනික මෙන්ම සමාජීය අවශ්‍යතාවයක් ලෙස හදුනාගෙන ඇත.

  • මෙමගින් ළමයා හා පූර්ව නව යෞවනයා තුළ සාමකාමී සහජීවනය, සාමූහික ක්‍රියාකාරිත්වය, තමා අවට ලෝකය පිළිබඳ පරිනත අවබෝධයක් ලබාගැනීමේ දොරටු විවෘත කර දීම.
  • අනාගත පුරවැසියන් ලෙස තමන්ගෙන් සමාජයට ඉටු විය යුතු යුතුකම් හා එම සමාජයේ වගකීමෙන් හා සංයමයෙන් යුතු වැඩදායී පුරවැසියන් ලෙස හැසිරීමට පුහුණුවක් ලබාදීම.
  • ළමයා හා පූර්ව නව යෞවනයා තුළ සබකෝලය නැතිකර, නිර්භයව ඉදිරිපත් වීමේ ශක්තිය හා පෞද්ගලික කුසලතා, නිර්මාණාත්මක හැකියා, අනාගත නායකත්වයට අවශ්‍ය හැකියාවන් වර්ධනය කිරීම, ඔප් නැංවීම හා සහජ දක්ෂතා ඉස්මතු කරවීම.
  • සමාජ විෂමතා වලින් තොර, ඒකීය චින්තාවලියකින් යුතුව උදාර අනාගත අරමුණු අවසානය දක්වා සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි අධිෂ්ඨානයෙන් යුතු ආදර්ශවත් පුරවැසියන් බිහිකිරීම ආදිය මෙයින් අපේක්ෂා කෙරේ.

2016 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ ප්‍රතිඵල ලේඛනය

2013 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ ප්‍රතිඵල ලේඛනය

ඉහළට

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය

සාහිත්‍ය කලාව පෝෂණය කරමින් උසස් නිර්මාණ අගයමින් උසස් සාහිත්‍ය නිර්මාණ රටට දායාද කරන සාහිත්‍යදරයින් දිරිගැන්වීම පිණිස සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වාර්ෂිකව රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරයි. රාජ්‍ය සම්මාන පිරිනැමීම සඳහා පහත සඳහන් තරග ඉසව්වලට අයත් ග්‍රන්ථ තෝරා ගනී.

ස්වතන්ත්‍ර නවකතා, ස්වතන්ත්‍ර කෙටිකතා, ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහ, ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය.

ස්වතන්ත්‍ර නාට්‍ය, ගී පදමාලා, ළමා සාහිත්‍ය, විද්‍යා ප්‍රබන්ධ, විවිධ විෂය, නවකතා පරිවර්තන, කෙටිකතා පරිවර්තන, නාට්‍ය පරිවර්තන, විවිධ පරිවර්තන.

සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන වර්ෂයට පෙර වර්ෂයේ ජනවාරි මස 01 වන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය තුළ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලද පොතක්වීම (රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනමනු ලබන්නේ අදාල වර්ෂයට පෙර වර්ෂයේ ජනවාරි 01 සිට දෙසැම්බර් 31 වන දින දක්වා ලියාපදිංචිය ලද පොත් සඳහායි).

  • අදාළ ග්‍රන්ථයේ ප්‍රථම මුද්‍රණයක් වීම
  • ළමා ග්‍රන්ථයක් නම් පිටු 16 කට වඩා වැඩිවීම
  • අනෙකුත් ග්‍රන්ථ පිටු 49 කට වඩා වැඩිවීම

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත්කොට ඇති බ්‍රිතාන්‍ය පිටපත් අතුරින් ඉහත තරග ඉසව්වලට අයත් ග්‍රන්ථ එකලස්කොට ජාතික සාහිත්‍ය අනුමණ්ඩලය විසින් රාජ්‍ය සම්මාන ලැබීම සඳහා සමීක්ෂණයට සුදුසු යැයි තීරණය කරන පොත් පමණක් සමීක්ෂණයට ඉදිරිපත් කරයි. ප්‍රථම වටයේ ග්‍රන්ථ සමීක්ණය බාහිර මණ්ඩලයක් විසිනුත්, දෙවන වටයේ සමීක්ෂණය සාහිත්‍ය අනුමණ්ඩලය විසිනුත්, තෙවන වටයේ සමීක්ෂණය උත්තරීතර විද්වත් මණ්ඩලයක් විසිනුත් සිදුකරනු ලබයි. තෙවන වටයේ සමීක්ෂණයෙන් සුදුසුකම් ලබන සාහිත්‍ය කෘති සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමීම සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරයි.

2013 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රතිඵල ලේඛනය

0112 872030 දුරකථන අංකයෙන් ජාතික සාහිත්‍ය අනුමණ්ඩලයේ ලේකම් ඇමතීමෙන් වැඩිදුර විස්තර විමසිය හැක.

ඉහළට

අවසන් යාවත්කාලීන කිරීම ( 2017 පෙබරවාරි 05 වෙනි ඉරිදා, 08:56 )